ආදීගේ ලිලී මල🌷🍂

ආදීගේ_ලිලී_මල🌷🍂

(එක් කොටසක කෙටිකතාව)

🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂


"බෑ!බෑ!බෑ!! ඩොක්ටර් ආදී නැතුව නම් මට ටෙස්ට්වලට යන්නේ බෑ! අනේ එයා එනකම් ඉමුකෝ මිසී! අනේ!!"

හිතේ උඩු දුවන දාහක් ප්‍රශ්න ගැන හිත හිතා ගත කරපු නිදි වර්ජිත රාත්‍රියකට පස්සේ, ටිකක් ප්‍රමාද වෙලා සේවයට වාර්තා කරපු ඔහු, මනාව නඩත්තු කෙරූ  ඒ දේහදාරී පෞර්ෂය ඔප්නැංවෙන යුරෝපීය ඇඳුමෙන් සැරසිලා, වෙද නළාව දකුණතේ රදවාගෙනම, ඉක්මන් ගමනින් වෝඩ් එකට ඇතුළු වෙන්නත් කලින් ඒ හුරුපුරුදු හුරතල් කටහඬේ ආයාචනය ඔහුගේ සවන් පෙති සොරාගෙන අවසන්.

"ඩොක්‍ටර් ආදි මෙහෙ ආවේ රිසර්ච් එකකට. එයා ඉක්මනින්ම යනවා ආයේ. එතකොට ඔය කෝලම් නටන්නේ වෙන්නේ නෑ ඔයාට මෙතන! විකාර නොකර යන්න ලෑස්තිවෙන්න පිනිදි!! ඔයා විතරක් නෙවෙයි, තව ලෙඩ්ඩු ඉන්නවා අපිට!"

හෙද නිළධාරීතුමියගේ රළු කටහඬින් පවා මෙල්ල නොවුණු මුවැත්තිය, ඒ කෙසඟ ශරීර කූඩුවට වඩා විසල්, නිල් සුදු ඉරි වැටුණු  රෝහලේ නේවාසික නිළ ඇඳුමෙන් සැරසිලා, ඒ කමිස කොණ අතැඟිලි අතර පොඩි කරමින් ඔහු එන මාවත දිහා බෙල්ල දිගු කරනවා දැක්ක නික්ලේශ්ට දැනුණේ හදවත ඊයම් බරුවක ගිලී ගිය තරමේ හරි බරසාර හැඟීමක්. ඔහුව දැක්කා විතරයි ඒ දුකෙන් හීනි වුණ ඇස්වලට සතුට කාන්දු වුණේ හුරතල් ඇහි බෝල රවුම් කරවමින්. චූටි නළ දතකිනුත් හැඬවුණු, පියවුණු සිහින් දෙතොල් අතරේ මැවුණේ හරි ආදරණීය හිනාවක්.

"ඩොක්ටර් ආදී!!"

ලේ කළදක් නැතිව එහෙ මෙහෙ වැනෙන ගත වාරු කරගෙන, රූකඩයක් වගේ පාවෙවී, මඟ දිගට තබා තිබූ යහන් අඟ හැප්පෙමින් ඔහු ගාවට දුවන් ආව කෙ/ල්ල, අවසරයක් නොපතාම ඒ තුඟු පපුතුරේ ගුලිවෙද්දී ඔහුගේ හැඬිදැඩි දෑත් යුග්මය ඒ සිහින් ගත වටා එතුණේ ඈ ප්‍රාර්ථනා කරන විසල් රැකවරණයත් එයම නිසා. 

තත්පර ගාණක් නිසොල්මනේ එහෙම ම වුන්නු කෙ/ල්ල ආයිම පිටිපස්සට පැන්නේ ඒ ඇටකෝටු පෑදුණු තරමට කෙට්ටු, සියුම් සමෙන් වැහුණ අතැඟිලිවලින්, ඔහු හරිම ගාණට අයන් කරලා තිබුණ අහස් නිල් පාට කමිසයේ ඈ අතින් පොඩිවුණු තැන් වේදනාවෙන් යළි නිවැරදි කරන්නට වෙහෙසෙමින්!

"සො....සොරී ඩොක්ටර් ආදී!!" ඒ ඇස් අඟ දැනටමත් කඳුළු පිරිලා.

" ඒක හිතන්න තරම් දෙයක් නෙවෙයි දරුවෝ! දැන් අපි යමුකෝ ටෙස්ට්වලට!"
නික්ලේශ් ඒ කෝටු අතක් සුරතින් ග්‍රහණය කරගෙන වදන් හසුරුවන ඇසිල්ලෙම පිනිදි ඇස්වලින් හිනාවෙන ගමන්, දිව දිගු කරමින් හෙදියට ඔච්චම් පෑවේ, ඇගේ මුහුණ කේන්තියෙන් රත් පැහැයට හැරෙද්දී..

🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂

එන්නත්වල ගත පසාරු කරන දරුණු පීඩාව නිසාම ඒ මුව විරූපී වෙලා. නළල් තලය පුරා මතුව ආ සිහින් දා බිඳු නොකියා කිව්වේ මේ ගෙවී ගිය මොහොතට ඈ කෙතරම් බයද යන වග.නිදි බෙහෙත් පුංචි මාත්‍රාවක පිහිටෙන් දරාගන්නට අසීරූ රිදුම් ධාරාවෙන් ඈ මිදුනත් ඒ ඈස් අඟ මිදී තිබූ කඳුළු කැට හකු ඇට පෑදී ගිය කම්මුල් දිගේ ගලායන්නේ කෙ/ල්ල හීනෙන් පවා බියවී එහෙ මෙහෙ හැරෙද්දී.

හිස කෙස් රහිත මුඩු හිස මත විනාඩි කිහිපයක පිරිමැදුම් මැද පිනිදි ආයෙමත් නින්දට වැටෙද්දී, වෛද්‍ය නික්ලේශ් ආදිත්‍ය රණබාහු නිහඬ ගමනින් ළංවුණේ, ඒ ආසන්න මේසය මතවූ ලේඛන අතර විමසුම් නෙත් යවමින් රාජකාරි කටයුතුවල නිරතවෙන  මහාචාර්‍ය සෙනරත් දසනායක,ඔහුගේ ගුරුවරයා, එහෙමත් නැත්තම් මොළයේ පිළිකා සම්බන්ධයෙන් ලංකාවේ අංක එකේ විද්වත් විශේෂඥ වෛද්‍යවරයා ළඟට.

"  පිනිදි නික්ලේශ්ට සෑහෙන්න ළංවෙලා වගේ!"

ඔහුගේ පියවර හඬට වෙදැදුරුතුමා පිළිතුරු බැන්දේ ඇගේ පරීක්ෂණ වාර්තාවල අලුත්ම වෙලුමෙන් උපැස් යුවළ පැළදි වියපත් දෑස් ඉවතට නොගන්නා අතරම.

"අපිට මේ දරුවා වෙනුවෙන් කරන්නම දෙයක් නැද්ද සර්?"
 ඉදිරියෙන් වූ අසුනට කඩන් වැටුණ නික්ලේශ්ගේ අරුත් සුන් පැනයට පරිතණ වෙද ඇදුරුතුමා පිළිතුරු සැපයූයේ ඒ පර්‍යේෂණ වාර්තාව මේසය හරහා නිහඬවම ඔහු වෙතට යොමුකරමින්.

පිනිදි පහන්‍යා
අවුරුදු 18( අවුරුදු 10 සිට නේවාසික රෝගී අංශයේ ප්‍රතිකාර ලබයි.)
හඳුනා නොගත් මොළයේ පිළිකා තත්ත්වයක්.

මේ කරුණු කිසිවක් නික්ලේශ්ට නුහුරු ඒවා නොවෙයි. සැබැවින්ම කටපාඩම් වන තුරුම ඔහු නැවත නැවත ඇගේ පර්‍යේෂණ වාර්තා අධ්‍යනය කර තිබුණා. එනමුත් තවමත් විසදුමක් නොවූ තැන, ඔහු සිය දකුණතේ ඇඟිලිතුඬු අඟින් නළලත මිරිකා හැර පරාජිත දෑසින් ඒ අත්දැකීම් බහුල වියපත් නෙත්වලට මුහුණ දුන්නා.

" නික්ලේශ්ට ඔය දරුවාව ගොඩක් දැනෙනවා ඇත්තේ එයාත් ඔයා වගේම මව්පිය රැකවරණයක් නැතුව ඇතිදැඩි වුණ නිසා වෙන්නැති. ඒත් නික්ලේශ්.... ඩොක්ටර්ස්ලා මිසක් අපි දෙවිවරු නෙවෙයි.පිනිදිව එයා ජීවත් වුණ ළමා නිවාසයෙන් පිළිකා රෝහලට භාරදීලා තියෙන්නේ එයාට අවුරුදු අටක් වගේ පුංචි වයසෙදි. එදා ඉදන් එයා පිළිකා රෝගියෙක් විදිහට නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ වෙනුවෙන් එයාට උදව් ලැබෙන්නේත් ඩොනේෂන් එකකින්. ඒත්.... මේ කැන්සර් එක හරිම වෙනස්. අපි දන්නේ ඒක තියෙනවා කියලා විතරයි ඇත්තටම. කාලෙකදි සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා, ආයෙමත් ඒක මතුවෙලා එන්නේ තිබුණටත් වඩා දරුණු විදිහට. මේ වගේ දෙයක් අපිට මීට කලින් මුණ ගැහිලාම නෑ.අඩුතරමේ අපිට කියන්න බෑ මේ ළමයා ඉදිරියට ජීවත්වේවිද.... අද හෙට මැරේවිද කියලාවත්. මං දන්න එකම දේ එයා මියගිය දවසක ඒ මොළය අපේ මේ ක්ෂේත්‍රයට මිළ කරන්න බැරි වස්තුවක් වෙනවා කියලා විතරයි!"

ඒ අවබෝධාත්මක වචන, හැඟීම්බර ඔහුගේ හිතට රැගෙන ආවේ අලුගෝ/සුවෙකුගෙන් ගිලිහුණ වදන් තරමටම පිළිකුල් බවක්. බුර බුරා නැගෙන වේදනාවට එහා ගිය ගුරු භක්තිය නිසාම නිහඬවම ඔහු එතනින් නැඟී සිටියේ දොරටුව වෙත යන්න වුණත් ප්‍රොෆෙසර් දසනායක ඔහුව නවතාලූයේ, තමන්ට පිටුපා යන සිය ප්‍රියතම මෙන්ම දක්ෂතම සිසුවාව තේරුම් ගන්නට අපහසු නොවූ නිසාවෙන්.

" තව ටික දවසකින් මම මේ දේවල්වලින් නිදහස් වෙනවා නික්ලේශ්. එදාට මගෙන් පුරප්පාඩු වෙන තැන ගන්න මං ගොඩනැඟුවේ ඔයාව.ඒ ගමන කිසිම අඩුපාඩුවක් නැතුව මේ තරම් දුර ඔයා ආවා. තව බොහොම පුංචි කාලයකින් ඔය වෛද්‍ය කියන කොටස ඉස්සරහට විශේෂඥ කියන විශේෂණයත් එකතු වෙනවා. ඒක ලොකු වගකීමක්! ඩොක්ටර් කෙනෙක් කියන්නේ හැමවෙලේම තමන්ට වඩා තත්පරයක් හරි ඉස්සරහින් අනුන් ගැන හිතන ම/නුස්/සයෙක්ට . ඒ නිසා අපි හරියි කියලා ගන්න තීරණවලින් අසරණ ජීවිතයක් තවත් පහළට ඇදවැටෙන්න ඉඩක් තියන්න එපා දරුවෝ!"

විරාමයකට පස්සේ ආයෙමත් ඒ හඬ  අවදි වුණේ යන්තමින් තැවරුණු බලාපොරොත්තුවක සේයාවක් කැටිවම.

" අන්න! සිතාරා දුව ඇවිත් ඉන්නවා පහළ!"

🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂

"ගන්න පිනිදි! මට ආදිත්‍ය ගොඩක් දේවල් කියලා තියෙනවා ඔයා ගැන. ඇත්තටම එයා මේ රිසර්ච් එක ගැන කතා කරොත් ඒකෙන් සීයට අනූවක්ම කියන්නේ ඔයා ගැනම තමයි!"

තමන් වෙතට දිගු කරගෙන වුන් මිලාධික විදෙස් චොක්ලට් පැකට්ටුව භාර නොගෙනම පිනිදි දෑස්වලින් ලුහුබැන්දේ ඒ පිරිපුන් ගැහැනු රූපය.

හැඩැති ඉන තෙක් කඩා හැලුණු ස්වභාවිකවම තඹ පැහැය ගත් කැරලි කෙහෙරැලි අතරින් සඳවත සේම දිස්වෙන වටකුරු මුවඟ, සිනාසෙන විසල් මීන දෙනුවන්, ඒ පැහැපත් පිරුණු පෙනුමැති මිහිලිය, සුරලියක් තරමට සුන්දර කළා.වීනස් බදු රෑපශ්‍රීයෙන් අනූන ගතෙහි කෝමලරේඛා ඔප්නැන්වෙන පරිද්දෙන් ගත දැවටූ මෙරූන් පැහැ දිගු ගවුමටම කැපෙන අඩි උස පාවහන් යුග්මය සිහින් ටොක් හඬක් නඟද්දී, ඩොක්ටර් ආදිත්‍යගේ අත් බාහුවෙහි එල්ලී ලාලිත්‍යවත් ගමනින් මෙහි පැමිණි ඇයව, ක්‍රමයෙන් මිලිනව යන පෙනීමෙන් යුත් දෙනෙතින් හැකි උපරිමයෙන්  ග්‍රහණය කරගෙන, පිනිදි මොහොතකට ඈ දෙසම නෙතු යොමුකළා. දිදුලන ඈ හා සසදන්නට තරම්වත් තමන් නොවටිනා වග ඉවෙන් මෙන් වැටහුණු ඒ මුවඟ අඟ රහසිගත ඉකියකින් හැඩිව තිබුණා.

"මැ....මැඩම් කවුද ඩොක්ටර් ආදිගේ?"

"ම්ම්ම්....දැනට නම් එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඒත්.... ළඟදිම ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා, ඊළඟට වයිෆ් වේවි!"

සුන්දර දේවල් උරුම වෙන්නෙත් සුන්දර අයට. සුන්දර මි/නිස්සුත් එහෙම්මමලු.... අඬන්න ඕනිම තැන කඳුළු ගල් කරගෙන, ළා හිනාවක් විතරක්ම වතෙහි දවටාගෙන.... පිනිදි සිය ඉහළ මහලේ පිහිටා තිබූ වාට්ටුවේ ජනෙල් පියන්පත්වල එල්ලී, පහළ මලින් හැඩවූ මාවත දිග ඇගේ අත ගෙන පියනඟන ඔහුගේ සර්ව සම්පූර්ණ දසුන දෙස නෙත් යොමා වුන්නා. 

" අම්මායි තාත්තායි ඇක්සිඩන්ට් එකකින් නැති වුණාට පස්සේ ඩොක්ටර් හැදුණේ එයාගේ නැන්දා ගාවලු. ඩොක්ටර්ගෙම වයසේ පුතෙකුත් ඉන්නවා එයාට. ඔය බාල දුව. සොෆ්ට්වෙයා ඉජිනියර් කෙනෙක්!  මෙහෙ නෙවෙයි UK වල ඉන්නේ. අද ඔය ලංකාවට ආව ගමන්ම දුවගෙන ඇවිත් තියෙන්නේ ඩොක්ටර්ව බලන්න."

"හරිම ෆර්ෆෙක්ට් කපල් එකක් නේද.... ඉක්මනින්ම මැරි කරාවි එහෙනම්?"

" ඒක නම් ඇත්ත. පොඩි කාලේ ඉදන්ම හොඳටම අදුරන දෙන්නෙක්නේ. මේ රිසර්ච් එකෙන් පස්සෙ ඩොක්ටර් මැරි කරලා, මැඩම් ඉන්න රටටම යාවි!"

" මෙහෙ ඉන්න සමහර හොටු කෙ/ල්ලෝ නම් ඩොක්ටර්ව එයාගේ නමට ලියාගෙන වගේනේ හැසිරුණේ. දැන් ඉතින් ඒ සෙල්ලම් ඉවරයි! "

පිටස්තර ලෝකය ගැන ගොඩක් දේ නොදැන වුන්නත්, හෙදිය ඒ වාග් ප්‍රහාර එල්ල කරන්නේ තමන්ට වග නොතේරෙන්න තරම් පිනිදි අත දරුවෙක් නොවූවා.

" ආදරයයි අනුකම්පාවයි අතරේ වෙනස දන්නැති අයනේ නතාශා මිස්! අනික අර දෙව්දුවක් වගේ ගර්ල් කෙනෙක් ළඟ තියාගෙන ලෙඩ්ඩු තියා, හොඳ සනීපෙන් ඉන්න කෙ/ල්ලෙක් දිහාවත් බලයිද අනේ ඩොක්ටර්!"

" හ්ම්ම්ම්ම්....ඒක තමයි!"

මේතාක් වෙලා අතැඟිලි අතර සිරව තැලී පොඩි වුණ චොක්ලට් පැකට්ටුව සයනය අසල තබා තිබුණු කුඩා මේසය මතින් තැබූ ඈ, මසකට එපිටින් යෙදුණු උපන්දිනය වෙනුවෙන් ඇයට ඔහු තිළිණ දුන් රෝස පැහැ පුලුන් පිරවූ හා පැටවාව නොපිරුණු ළය මතින් තුරුළු කරගත්තේ සාංකාවෙන්. ජීවිතය හැමදාමත් ඇයට හිමිකරදුන්නේ අහිමිවීම් පමණක්ම වග අමතක කිරීමේ වරදට අහිංසකාවිය හදවතින් විදවමින් දඩුවම් විදිමින් වුන්නා. 

වෙනදාට වඩා වේලාසනින් යහන මත ගුලි ගැහුණු ඈ.... පොරෝනය මුව තෙක් ඔසවාගෙන නින්දට වැටුණේ වේදනාවෙන් පැන යන්නට අන් මඟක් නොවූ තැන.

🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂

" නිකන් යටි කය පණ නැති පො#%යෙක් වගේ එලොවටත් නැති මෙලොවටත් නැති වැඩ කරන්න ලෑස්තිවෙන්න එපා බ/න්! උ/ඹට සිතාරාව ෆීල් වෙන්නැත්තම් තවදුරටත් නංගිව බදින්න කියලා මං උ/ඹට බල කරන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා අර තරම් ෆර්ෆෙක්ට් කෙ/ල්ලෙක්ව අතෑරලා උ/ඹට මේ කොහෙවත් යන, අද මැරෙයිද හෙට මැරෙයිද කියලා හිතාගන්න බැරි එ/කියක්ව කරගහගන්න මම ඉඩ තියන්නෙත් නෑ!!"

සසංක ඉහළ මහළේ ආලින්දය දෙදරන තරමට හඬ නැඟුවේ තමන්ගේ එක කුස උපන් සහෝදරිය වගේම, එකට මව් කිරි බීපු සහෝදරයා වෙනුවෙනුත් උපන් වේදනාබර ආවේගයෙන්. ඊයේ ලංකාවට ආව කෙ/ල්ල අද වෙද්දි ආපහු යන්න බඩු ලෑස්තිකරද්දි ඒකට ආදීගේ ඍජු සම්බන්ධයක් ඇති වග ඔහුට තේරුනත්, වෙදැදුරෙක් විදිහට දහස් ගණනක් රෝගීන් සුවපත් කරන ඔහු මේ විදිහේ මෝඩ තීරණයක එල්බ ගනීවී යැයි ඔහු මොහොතකටවත් හිතුවේ නෑ.

" මං ඒ අහිංසකීට ආදරෙයි බ/න් අයියේ!"

"ආදරෙයි! අනේ තියාගෙන ඉදගනි/න් ය/කෝ ඔය කෙහෙල්මල් ආදරේ! ආදී.... අහ/පං! හිතින් ලව් කරනවා වගේ ආතල් නෑ බ/න් කසාද බැන්දාම. එතකොට එතන දෙන්නෙක් නෑ එක්කෙනෙක් ඉන්නේ. අවුරුදු තිහක් ගල් කරගෙන පරිස්සම් කරගෙන හිටපු හැඟීම් නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න පුලුවන්, උ/ඹ වෙනුවෙන් කැපවෙන්න පුලුවන්, දවසක උ/ඹේ ලේ%වලින් දරු පැටව් කුස දරන පෝෂණය කරන අම්මෙක් වෙන්න පුලුවන්, මැ/රෙනකම්ම උ/ඹත් එක්ක ඉන්න පුලුවන් කෙ/ල්ලෙක් මිසක්, මේ වගේ මා/රාන්තික ලෙඩකින් ඔත්පල වෙච්ච කෙ/ල්ලක් කරගහගෙන උ/ඹ මොනාද ඒ/කිගෙන් බලාපොරොත්තු වෙන්නේ?"

නික්ලේශ් ළය මතින් දෑත් බැදගෙන හිසත් පහතට යොමාගෙන නිහඬ වූ තැන සසංක නැවතත් කතාව ආරම්භ කළේ පෙරට වඩා සීරුවෙන්.

"උ/ඹ දන්නවාද දවසකට මං ගාවට ඩිවෝස් නඩු කීයක් එනවාද කියලා? ඇයි? ඒ මි/නිස්සුන්ට තමන් ජීවිත කාලයක් වෙනුවෙන් තෝරාගත්තු ම/නුස්සයාව අතරමඟදි මදි වෙලා. ඉතින් උ/ඹ.... උ/ඹ මේ තෝරගන්න යන්නේම කිසිම දෙයක් නැති කෙනෙක්! අංගසම්පූර්ණ උ/ඹ තෝරාගන්න යන්නේ අසම්පූර්ණ, කිසිම වටිනාකමක් නැති කෙනෙක්! "

" ඔව්! ඒ කෙ/ල්ල වටිනාකමක් නැති කෙනෙක්! හැබැයි මට පුලුවන් ඒ ඇස් අස්සේ මං වෙනුවෙන් දෝරේගලන ආදරේට වටිනාකමක් දෙන්න. 
ඔව්! මට කවදාවත් ලිප් කිස් එකකට එහා සෙ/ක්ෂුවල් ලයිෆ් එකක්, ඒ හුස්ම ටික පරිස්සම් කරගන්නත් අමතර වෙහෙසක් ගන්න අහිංසකීගෙන් බලාපොරොත්තුවෙන්න බැරිවෙයි! හැබැයි මට පුලුවන් ඒ/කීට පිරෙන්න ආදරේ කරන්න! 
ඔව්! මට තරම් ලොකු හීන එයාට නැතිවෙයි, ඒත් මට පුලුවන් ඒ හිතේ ගුලිකරන් හංගන් ඉන්න පුංචි පුංචි ආසාවල් ඉෂ්ට කරලා දෙන්න! 
ඒ/කීට මං වෙනුවෙන් කැපවෙන්න බැරිවෙයි....හැබැයි මට පුලුවන් ඒකි වෙනුවෙන් කැපවෙන්න! ආද...."

" කවදා වෙනකන්ද? ආ.... කියප/න් කවදා වෙනකන් පේවෙලා කරන්නද ඔය සේරම?? දවසක උ/ඹට හති වැටේවි! නැත්තම් ගැලපෙන ගෑ/නු හිතක් මුහණැහුණු දාක ඒ ළඟ නතරවෙන්න හිතේවි! අන්න එදාට.... එදාට අසරණ වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔය ලෝකේ ගැන කිසි තේරුමක් නැති පොඩි එ/කීමයි!"

සසංකත් ඔහුට අවබෝධ කරදෙන්නට උත්සහ කළේ ප්‍රොෆෙසර් දසනායකත් එලෙසින්ම දුටු යථාර්තය. නමුත් ඔහු.... ඔහු සූදානම් නැහැ එය පිළිගන්නට.

" සනීප කරන්න බැරි ලෙඩවලින් ඔත්පල වෙච්ච මි/නිස්සුන්ව ආදරේ නාමයෙන් කසාද බැන්ද ගැ/හැනු / පි/රිමි මේ ලෝකේ නැද්ද සසියා? තමන් කසාද බැන්ද ම/නුස්සයා එකතැන් වුණාම ජීවිත කාලයක් උවටැන් කරන අය නැද්ද? මැරිච්ච ආදරේ වෙනුවෙන්ම ජීවත්වෙන, දරු පැටව් තනි හයියෙන් උස්මහත් කරන, කවදාවත් වෙන කෙනෙක්ගේ හුස්මකින්වත් ඉදුල් නොවුනු මි/නිස්සු මේ ලෝකේ නැද්ද?

විසල් සුසුමක් සමඟින් සසංක නිහඬ වූ තැන, ආදිත්‍යගේ කටහඬ වඩාත් උස්ව නැඟී ආවා.

 ඉන්නවා නේද.... අන්න ඒකටයි බ/න් ආදරේ කියන්නේ , ඒක ගනුදෙනුවක් නෙවෙයි හැඟීමක්! උ/ඹ ඔය කිව්වේ සාමාන්‍ය මනු/ස්ස හිත් ගැන! ඒත් ඒ ට්‍රැක් එකෙන් පිටපැනලා අසාමාන්‍ය කැපකිරීම් කරන එවුනුත් මේ ලෝකේ ඉන්නවා බන්!"

නිහඬව පරාජය භාරගත්ත සසංකගේ උර මතින් අත් යවා ඔහුව වැළදගත් නික්ලේශ් සිය අවසන් තීරණය කියා දැමුවේ නොසැලෙන කටහඬින්.

" කල් අරින්න තරම් කාලයක් ඒ පොඩි එ/කීට නෑ අයියේ! මං වෙනුවෙන් අත්සනක් දාන්න වරෙ/න්! "

🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂

ළා කොළ පාට තණනිල්ලේ එක අන්තයක ඉදිවුණ සරල මුත් ආදරණීය බව නොඅඩු වූ එළිමහන් මංගල පීඨිකාවක්....

දිදුලන කඳු පැහැ යුරෝපීය සම්පූර්ණ ඇඟලුම් කට්ටලයෙන් සැරසුණු, ළය ඉදිරිපසින් බ්ලේසරය මත මල් කිණිත්තක් දවටාගත්,  ගාම්භීර පෙනුමැති ඔහු....

විශ්වාස කරන්නටවත් නොහැකි තරමේ සුන්දර සිහිනයක අතරමංව ඇවිදින නිකළැල් සුරඟනක් බඳු, පිවිතුරු සුදු පැහැයෙන් යුත් මංගල ගවුමෙන් සැරසී, සිය ප්‍රියතම මල් වර්ගය වූ සුදු ලිලී මල් කළඹක් දෑත දරාගෙන, දිලිසෙන දෙනෙතින් ඔහු දෙසම බලාවුන් ඇය....

වෙන් නොවන්නට දෙවියන් ඉදිරියේ පිළිණ දී.... මංගල මුදුවෙන් හැඩ කළ සිහින් අතඟිලි අග සිපුමක් තවරා, සීතල දෙතොල් උණුහුමින් පුරවන්නට නිම් නොවනා හාදුවකින් එක්වූ සුයාමයක අසිරිමත් නිමේෂය....

ඒ හැඟුම්.... තෙවසරක ඇවෑමකින් පසුව පවා එදා සේම නැවුම්ව ළය සංස්පර්ශ කරද්දී, සීතල මහනුවර සිය දෙමහල් පායේ ජනෙල් කවුළුවලින් පෙරී ආ ළා හිරු කිරණින් ඔපවත් වූ  මංගල චායාරූපය දෙස වරුවක්ම අත්හරිණු බැරි ලෝබකමකින් බලා වුන්, මහාචාර්‍යය නික්ලේශ් ආදිත්‍ය රණබාහු,  වේගයෙන් ගමනාරම්භ කර තිබූ ඔරලෝසු කටු වෙත නොපහන් බැල්මක් පා කරමින්, අසල වූ ලිලී මල් පොකුරත් රැගෙනම නැඟී සිටියේ විශ්ව විද්‍යාලයට යන අතරමඟ සිය ප්‍රේමණීය බිරිඳත් හමුව යාමේ නොනිත් ආශාවෙන්.

ඉදින් ඈ අසල නොසිතූ වෙලාවක් ගතව තිබූ නිසාවෙන් සරසවි බිමෙහි වෛද්‍ය පීඨය වෙත ඔහු පියනඟන විටත්, අනාගත වෙද සිසු සිසුවියන් පර්‍යේෂණාගාරයේ දොරටුව වටා එක් රොක්ව වුන්නේ ඔහු එන පෙරමඟ බලමින්, නොයිවසිල්ලෙන්.

" අපි හිතනවා මේක ප්‍රොෆෙසර්ගේ අයිතියක් කියලා. අනික.... මේ දේ උගන්වන්න තරම් දැනුමක් තියෙන්නෙත් සර්ට විතරමයි මේ ලංකාව ඇතුලේ!"

පීඨාධිපතිතුමාගේ වදන් සවනත දෝංකාර දෙන ඇසිල්ලක, පිළිකා සම්බන්ධ පර්‍යේෂ්ණාගාරයට ඒකාබද්ධව ඉදි කෙරුණු ඔහුටම වෙන්වූ විවේකාගාරය තුළ, සුදු පැහැ වෙද්‍ය කබාය ගත ලා ගෙනම, නික්ලේශ් මදක් දිගට වැවූ යටි රැවුල පිරිමදිමින් සුසුම් හිරවූ ළය දවා හළු කොට, දෑස් පියාගත්තා එක ඇසිල්ලකට!

ඒ මීට මසකට පෙර....
ඔවුන්ගේ තෙවැනි විවාහ සැමරුම් දිනය දා රාත්‍රිය!

"ආ!"

ඈ එනතුරු සයනය මතට වී නිරුවත් උඩුකයෙන් කල්මැරූ ඔහුගේ ළය මත පිනිදි තැම්පත් කළේ ඔවුන්ගේ විවාහ දින සේයාරූවලින් හැඩවී රෝස පැහැ පිටකවරයකින් යුතුව ඈ විසින්ම නිමවූ කුඩා පොත් පිංචක්.

" මොකද්ද පිනී බබා මේ?"

" ආදීගේ ලිලී මල, ආදිට දෙන තෑග්ගනේ තුද්දෝ!"

ඉනික්බිති ඒ ගත මතින් වැතිරුණු ඈ ඔහුගේ කඩවසම් වුවන අතොරක් නැතිව සිපගත්තේ හැඟීම්බරව.

" චූට්ටිත්තක්වත් හිත රිද්දන්නේ නැතුව මාව බලාගත්තාට. ආදරේ ගොඩාරියක් දුන්නාට. මගේ හැම පුංචි හීනයක්ම ඉෂ්ට කළාට.... මගේ හබීට මං දෙන චූටිම චූටි තෑග්ග!"

" මට මේ ඉන්න තෑග්ග හොඳටම ඇති! මේ වගේ ආදීගේ තුරුළට වෙලා, ගුලිවෙන්න පිනී බබා හිටියාම හොඳටම ඇතී!"

ඔහු සුපුරුදු ලෙසම ඒ නළලත සිපගනිමින් මිමිණුවේ.... ඈත් නොදැනුවත්වම ඇගෙන් ගිලිහුණු වදන් තුළ ගැබ්වුණු.... නොනිමි කවියක, එක් භවයක නිමාව නොහඳුනන නිසාවෙන්ම වෙන්නැති.

එදා රෑ ගෙවී ගොස්, උදා වූ නවමු දිනයේ.... ඔහුගේම ළය මත අවසන් හුස්ම වාතලයට මුදාහළ පුංචි අහිංසකාවිය, දරදඬුව වකුටුවී වුන්නා. පියවුණු නෙතින් යුත් වුවන මත සැනසුම් මදහසක් දැවටී තිබුණා.

පි/රිමින්ට තහනම් කඳුළු, රැවුලෙන් පිරුණු කොපුල්පත් තුළ සැඟව යන මොහොතක.... එදා මඟ ඇරුණු ඇගේ තිළිණයේ අවසාන පිටුව, සෑම පිටුවක්ම පුරා ඇගේ බෝල අත් අකුරෙන් ඔහු ගැනම ලියැවී තිබූ නිසදැස් යායේ අවසාන පබැඳුම තවත් වරක් නික්ලේශ් නැවතුම් ඇතුව කියවූයේ දරාගනු බැරිම තැන ඉකිලන හදවත තදින් හපාගත් යටි තොලෙන් ලෝකයෙන් සඟවා ගෙන.

" මට බෑ පිනී බබාව කපන්න.... ඒත්.... ඒත් බබා වගේ තව බබාලා බේරාගන්න මට ඒක කරන්නම වෙනවා බබා! මේ ආත්මේ මං ඒ තරම්ම පව්කාරයි බබා!"

සුදු ලිලී යායක ඉදිකර තිබූ ඇගේ සොහොන් කොත පාමුල ඇති තරම් හඬා වැටෙමින්, ඔහු සමාව ඉල්ලුවේ මීට අඩහෝරාවකට ප්‍රථමව වූවත්.... ඈ වෙනුවෙන්ම උපදින්නට තවමත් කඳුළු ඉතුරුයි ඔහු ළඟ.

තවත් වාරයක් ඒ නිසදැස කියවූ ඔහු, සුදු අත්වැසුම් ලූ වෙව්ලන දෑතින් විවර කළා....අධිශීතාගාරයේ බහා තිබු ඇගේ හිසත්, විමසුම් දෑසින් ඒ දෙස බලා වුන් වෙද සිසුන් විසි අටකිනුත් සැදුම්ලත්, සැත්කම් කුටියේ ශීත වූ ලෝහ දොරටුව....

"දුවෙක්ද? පුතෙක්ද?"
"බබාලා එපා මට!"
"ඒ ඇයි?"
"කපන්න වෙන නිසා....
මං ආදරේම නුඹව
ස්තර හතක් ගැඹුරට!"
කියූ නුඹම....

වෙව්ලන දෑඟිලි තුඩින් ඔසවාන
සියුම් සැත්කම් සැතක්....
කඳුළු බොඳ වූ දෙනෙතින් දරාගෙන
ඉකිගහන හිතක්....

කෙස් රහිත හිස්කබල පසාරුකර
මතුකරගත් කළ
අසමාන වූ ස්නායු සෛල
මසකට පෙර මිලිනවී ගිය අකාළ....

ගුරු භක්තිය පිරුණු
වෙද සිසු දෑස් මෑත් කර
තැබුවෙමි හාදුවක්
තවමත් වෙදැගිල්ලේ තනි රකින එය මත
දැනුණි නම් තද සීතලක්
ඒ මමයි, නුඹේ පුංචි ලිලී මල....

"සර්! අපිත් බලන්නද 
කපා කොටා මොළ සෛල"

"බලන්න.... හැබැයි පරිස්සමින්!
රිද්දන්නෙපා....
මේ මගේ බිරිඳගේ මළසිරුර!"

🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂

ඉතින්.... මං හිතනවා හා විශ්වාස කරනවා පොදු පි/රිමි කුලකයේ ඉහත්තාවක මේ වගේ පි/රිමිත් ඇති.

මේ ඔවුන් වෙනුවෙන්....🌷💝

දැනුණා නම් අකුරක් මං වෙනුවෙන් තියන් යන්න. 
පාරූව ෆලෝ කරන්න. කතා විලටත් ඇවිත් යන්න🤗🌼💕

← Back to stories